වැඩිම පෝෂණයක් සහ උපරිම සෞඛ්‍යාරක්ෂිත බවක් සපයන හොදම සහල් වර්ගය වන්නේ තම්බපු රතු සහල් නැතිනම් රතු නාඩු සහල්ය. මෙවැනි තැම්බූ සහල් වර්ග , කැකුළු සහල් වලට වඩා ගුණයෙන් අනුන වෙනවා.
තවද තැම්බූ සහල් සකස් කිරීමේදී සිදු කරන පෙඟවීමේ සහ තැම්බිමේ ක්‍රියාවලි වලදී කෘමිනාශක ඇතුළු කෘෂි රසායනික ශේෂයන් ඉතා හොදින් ඉවත් වී යනවා. මේ නිසා වෙලදපොලේ ඇති අනෙකුත් සහල් වර්ග වලට වඩා තැම්බූ සහල් සෞඛ්‍යආරක්ෂිත බවින්ද වැඩියි.
ඔබ රතු නාඩු සහල් ආහාරයට ගැනීමට එතරම්ම ප්‍රියතාවයක් නොදක්වන කෙනෙකු නම් අඩුම වශයෙන් සුදු නාඩු සහල්වත් ආහාරයට ගැනීමට හුරුවන්න. අද බොහෝ නිවෙස් වල ප්‍රධාන ආහාර ලෙස භාවිතා කරන්නේ විදුරු සේ විනිවිද පෙනෙන ආකාරයට අධිකව පැහු කීරි සම්බා ඇතුළු සම්බා සහල් වර්ගයි. මෙවැනි සහල් වර්ග වල කිසිදු රළු ගතියක් නෑ. රසින්ද වැඩියි. පිසූ විට බත් ඇට ඉතා කුඩා නිසා වැඩියෙන් හපන්නට අවශ්‍ය වන්නේද නෑ.
මේ නිසා සිදු වන්නේ කෙටි කාලයක් තුල විශාල බත් ප්‍රමාණයක් අනුභව කර කුස පුරවා ගැනීමයි. තවද මෙවැනි සම්බා සහල් වර්ග වල තන්තු අඩංගු නොවන නිසාත් ඇටය ඉතා කුඩා නිසාත් ඉක්මනින් ජීර්ණය වීම සිදු වෙනවා. එවිට සිදු වන්නේ දිනකට වේල් 4ක් හෝ 5ක් බත් අනුභවයට පෙළඹීමයි. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස අධික තරබාරු බව හා දියවැඩියාව වැනි ලෙඩ රෝග වැළදීම සිදු වෙනවා.
සාමාන්‍යයෙන් සහල් ඇටයක වැඩිපුර ම, එනම් සියයට 70-76ක් පමණ ඇත්තේ ‘කාබෝහයිඩ්‍රේට්’ හෙවත් ‘පිෂ්ඨධාතු’ ය. තවත් සියයට 6-9ක පමණ ප‍්‍රමාණයක් ප්‍රෝටීන් ය. ‘කාබෝහයිඩ්‍රේට්’ පිහිටා තිබෙන්නේ සහල් ඇටයේ ‘කුරුට්ට සහිත ස්ථරයෙන්’ ඇතුළත ය. එහෙත් සහල් ඇටයක ප්‍රෝටීන, යකඩ, සින්ක්, තන්තු, මේදය සහ ඇමයිලෝස් ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක සියල්ල පිහිටන්නේ සහල් ‘කුරුට්ටේ’ ය. ‘නිවුඞ්ඬේ’ ය. සහල් ‘හොඳ සුදට පොලිෂ් කිරීමේ දී’ ඒ සියල්ල ඉවතට යයි.
වෛද්‍යවරුන් නිතර ම කියන්නේ, දියවැඩියා රෝගීන් හැමවිට ම පාහේ ‘රතු බත්’ ආහාරයට ගත යුතුයි, යනුවෙනි. එහි අරුත වන්නේ රතු සහල් හෙවත් ‘රතු’ හෝ ‘දුඹුරු පැහැති’ කුරුට්ට සහිත සහලින් පිසූ බත, රුධිරයේ සීනි මට්ටම (ග්ලූකෝස්) ඉහළ නැගීම පාලනය කරන බව ය. එයින් ද වඩා සුදුසු තැම්බූ රතු සහල් ය. තැම්බූ සහල් කොයි කාහටත් බොහොම ගුණදායක ය.
මහජනයාගේ සහල් භාවිතාව මහ පුදුමාකාර එකකි. කොතෙක් ගුණදායකයි කීව ද, ඔවුන් අතර වැඩියෙන් ම ජනප‍්‍රිය සුදු පැහැති සම්බා සහල් වර්ග ය.
මෑතක පටන් ‘කීරි සම්බා’ නමින් සහල් වර්ගයක් ප‍්‍රචලිත වෙමින් තිබේ. එය ‘බී. ජී. -360’ නම් දෙමුහුන් වියෙන් උපදින සහලයි. එහි සහල් ඇටය සිහින් ය. දිගටි ය. කීරි සම්බා මිලෙන් ද අධික ය. එහි ඇති මෙලෝ ගුණයක් නැත. එහෙත් එහි බත වැළඳීම ‘විලාසිතාවක්’ බඳු ය.
වඩා බරපතල කාරණය වන්නේ සම්බා වර්ග සියල්ලම පාහේ කාබෝහයිඩ්‍රේට් (පිෂ්ඨධාතු) රජවරුන් වීම ය. කීරි සම්බා ද එසේ ය. රතු සහල්වලට සාපේක්ෂව, ඒවායෙහි තන්තු, යකඩ, සින්ක්, ප්‍රෝටීන සහ ‘ප‍්‍රති ඔක්සිකාරක ගුණ’ ආදිය හීන ය. සම්බා වර්ගවල සහල් ඇට කුඩා ය. එබැවින් කන්නට සිදුවන බත් ප‍්‍රමාණය ද වැඩි ය. කුස ඉක්මණින් පිරෙයි. එහෙත් ඉක්මණින් ම යළි කුසගිනි දැනෙයි. සමාජය ඉහළින් ම පිළිගන්නා සම්බා බතෙහි අනුසස් එබඳු ය. බහුතරයක් මිනිස්සු ‘රතු බත්’ අත්හැර දමා, මෙලෝ ගුණයක් නැති සම්බා සහ පොලිෂ් කළ සහලේ බතට ඇබ්බැහි වෙමින් ලෙඩ දුක් වැළඳ ගැනීම මහත් ඛේදවාචකයකි!
Sources
2018/08/05 දින සැබෑ පුවත්පතේ පළවූවකි
No comments:
Post a Comment